වතුකර පාසල් පද්ධතියේ පවතින උග්ර ගුරු හිඟයට පිළියම් යෙදීම සහ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව නියෝජ්ය අමාත්ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළ අතර, දිවයින පුරා ක්රියාත්මක වතු පාසල් 849ක සිසුන් 191,522ක් අධ්යාපනය ලබන බව ඔහු පෙන්වා දුන්නේය.
ගුරු හිඟයට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණින් උපාධිධාරීන් 23,300කට ආසන්න ප්රමාණයක් සහ විද්යාපීඨ ශ්රේණිවලින් 6,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, විෂයානුබද්ධව සහ දිස්ත්රික් මට්ටමින් මෙම ස්ථානගත කිරීම් සිදු කිරීමෙන් විද්යාව, ගණිතය, ඉංග්රීසි සහ දෙමළ මාධ්ය ගුරු හිඟය සාර්ථකව මඟහරවා ගත හැකි බවත් හෙතෙම පැවසීය. මීට අමතරව, වතු පාසල්වල භෞතික සම්පත් නංවාලීම සඳහා නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, අඛණ්ඩ ඉදිකිරීම් සඳහා මිලියන 600ක් සහ නඩත්තු කටයුතු සඳහා මිලියන 100ක් වෙන් කර ඇති බව ද, ඉන්දීය ආධාර යටතේ පාසල් 9ක් සංවර්ධනය කිරීමට, ‘ජෙම්’ ව්යාපෘතිය හරහා සනීපාරක්ෂක පහසුකම් නංවාලීමට මෙන්ම ගුරු නිවාස 14ක් ඉදි කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















