ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල පවතින ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම්වල තත්ත්වය සොයා බැලීම සඳහා වූ ජාතික මට්ටමේ විශේෂ විගණන වැඩසටහනක් අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ සංකීර්ණ සහ පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථාන ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි (Accessibility) සංවර්ධනය කිරීම සඳහා 2026 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 1,000ක (බිලියනයක) සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම ප්‍රතිපාදන නිසි ලෙස උපයෝගී කරගනිමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවල මෙම විගණනය සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම ජාතික වැඩසටහනට සමගාමීව, මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි සමාජ සේවා නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුව ලබා දීමට ද පියවර ගෙන තිබුණි. එහි ප්‍රථම අදියර ක්‍රියාත්මක කරමින්, කොළඹ දිස්ත්‍රික්කයේ එලෙස පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සෘජු සහභාගීත්වයෙන් සෙත්සිරිපාය අදියර 1 සහ අදියර 2 ගොඩනැගිලි සංකීර්ණවල ප්‍රවේශ පහසුකම් විගණනය කිරීම අද දින සාර්ථකව ආරම්භ කරනු ලැබීය.
















