මේ දවස්වල රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ නිතර මාධ්‍ය තුළ දකින්නට ලැබෙන බවත්, ඇයව දකින විට තමන්ට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ අමිහිරි සිදුවීමක් මතකයට නැඟුණු බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
එදා ප්‍රකට නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින්, ඔහුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බවට පත් කිරීමට සුරේෂ් සලේ මහතා එලෙස උත්සාහ කළේ ඇයිද යන්න පිළිබඳව වහාම සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා සිය සටහනින් අවධාරණය කරයි. එමෙන්ම සුරේෂ් සලේ මහතා අහිංසක නම් ඔහු නීතියට බිය විය යුතු නැති බවත්, තමන් නිර්දෝෂී බව නීතිය ඉදිරියේ ඔප්පු කළ යුතු බවත් පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා, එසේ නොමැතිව සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම (සියදිවි නසාගන්නා බවට තර්ජනය කිරීම) විසඳුමක් නොවන බව ද සඳහන් කර ඇත.
සිය අතීත මතකය ආවර්ජනය කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ, 2020 අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක රාත්‍රී 9.00ට පමණ හිජාස් හිස්බුල්ලා මහතාගේ බිරිඳගෙන් තමන්ට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් සිය නිවසට පැමිණ සිටින බව ඇය එහිදී දැනුම් දී තිබේ. අනතුරුව තමන් වහාම හිස්බුල්ලා මහතාගේ නිවසට ගිය බවත්, එහි සිටි CID නිලධාරීන්ගෙන් විමසීමේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බව පවසා ඔවුන් හිජාස් මහතාව අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බවත් ඔහු පවසයි. ඉන්පසුව හිජාස් හිස්බුල්ලා මහතාව රැඳවුම් නියෝග (DO) යටතේ දීර්ඝ කාලයක් තිස්සේ සිරකර තැබීමට එදා පාලකයින් කටයුතු කළ බව ද මුජිබර් රහුමාන් මහතා සිය ෆේස්බුක් සටහන මඟින් සිහිපත් කර ඇත.
















