ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් රාජධානියේ ‘Battersea’ හා ICAM සංවිධානවල විශේෂ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙහිදී කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ ‘No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමට යෝජනා වූ අතර, පළමුව බස්නාහිර පළාතෙනුත් පසුව මුළු දිවයින පුරාත් මෙය ක්‍රියාත්මක කිරීමට විශේෂ ‘කාර්ය සාධක බලකායක්’ (Presidential Task Force) පිහිටුවීම පිළිබඳවද අවධානය යොමු විය.
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සත්ත්ව සුබසාධනය රජයේ ප්‍රමුඛතාවක් වන අතර, අදාළ අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව මෙම ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යාමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
















