වෙළෙඳ නෞකාවන්ගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම්වල අවි හා උපාංග ගබඩා කරනු ලබන, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව තිබේ. ශ්රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team – OBST) ස්වාධීනව සිදු කිරීම 2025 ඔක්තෝබර් මස 03 වැනි දින ආරම්භ කරනු ලැබූ අතර, ගතවූ වසරක කාලය තුළ නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම සමුද්රීය ආරක්ෂක මෙහෙයුම් මඟින් ඇමරිකානු ඩොලර් තිස් තුන් ලක්ෂ විසි දහසකට අධික, එනම් රුපියල් කෝටි 106කට ආසන්න විදේශීය විනිමය ආදායමක් ජාතික ආර්ථිකයට ලබා දීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
ආරක්ෂක අමාත්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව සිදු කෙරෙන මෙම මෙහෙයුම් යටතේ මේ වන විට දේශීය නියෝජිතයන් දස දෙනකු මඟින් විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් විසි අටක් සමුද්රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සඳහා ශ්රී ලංකා නාවික හමුදාව වෙතින් අවශ්ය පහසුකම් සහ සේවා ලබාගැනීම සිදු කරනු ලබයි. ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා, නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යභාර්ය සහ එහි ප්රගතිය පිළිබඳව සොයා බැලූ අතර, කෙටි කාලයක් තුළ විශාල මෙහෙයුම් සංඛ්යාවක් සාර්ථකව සිදු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබා දුන් දායකත්වය අගය කළ හෙතෙම, ඉදිරි කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්ය උපදෙස්ද ලබා දුන්නේය.
















