මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින්, මාලදිවයින සාගර ප්ලාස්ටික් සන්ධානය (MOPA) සහ නිවාස සංවර්ධන සංස්ථාව (HDC) සමඟ ඒකාබද්ධව මාලේ පිහිටි හුලුමාලේ (Hulhumalé) වෙරළ තීරය පිරිසුදු කිරීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව සංවිධානය කර තිබේ.
පරිසර ආරක්ෂණය, ප්‍රජා දායකත්වය සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලාංකික සහ මාලදිවයින් ප්‍රජාවන්ගේ සාමාජිකයන් සහ දරුවන් රැසක් මේ සඳහා ක්‍රියාකාරීව දායක වූහ.
මෙහිදී පැයක වැනි කෙටි කාලයක් තුළ වෙරළ තීරයෙන් ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 585ක ප්‍රමාණයක් එකතු කිරීමට සහභාගි වූවෝ සමත් වූහ. සමුද්‍රීය පරිසර පද්ධතිවල පැවැත්ම දූපත් රාජ්‍යයන්හි ප්‍රජාවන්ගේ ජීවනෝපායට සෘජුවම බලපාන බැවින්, පිරිසුදු හා සෞඛ්‍යසම්පන්න වෙරළ තීරයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම මෙමඟින් අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රිස්වි හසන් මහතා, පිරිසුදු වෙරළ හා සෞඛ්‍යසම්පන්න සාගරයක් සඳහා මාලදිවයින ගන්නා උත්සාහයන්ට සහයෝගය දක්වමින් දෙරට අතර ඇති සහෝදරත්වය සහ මිත්‍රත්වය ප්‍රදර්ශනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ බව ප්‍රකාශ කළේය.
















