2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සියලු කටයුතු සූදානම් කර ඇති අතර හෙට (මැයි 01) දිනය පුරා කොළඹ සහ දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම රැලි පැවැත්වීමට නියමිතව තිබේ.
‘ජන රජයට ජන බලයක්’ තේමාව යටතේ ප්‍රධාන රැලි දෙකක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පෙරවරු 10.00 ට නුවරඑළිය සිනසිටා ක්‍රීඩාංගණයේදී සහ පස්වරු 5.00 ට මහරගම නගරයේදී මෙම රැලි පැවැත්වෙන අතර මීට සමගාමීව දිස්ත්‍රික්ක 21ක ද රැලි සංවිධානය කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පච මදිවට හොරු එළවන විපක්ෂයේ මැයි රැලිය’ තේමාව යටතේ පස්වරු 3.00 ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මැයි රැලිය පැවැත්වේ. රැලියට පෙර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පස්වරු 3.00 ට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැලිය පස්වරු 1.00 ට මාලිගාකන්දෙන් ආරම්භ වී පස්වරු 3.00 ට හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා මහජන පක්ෂය පස්වරු 2.00 ට කුරුණෑගල නගර ශාලාවේදී සිය රැලිය පවත්වන අතර එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව මෙවර ප්‍රසිද්ධ රැලි වෙනුවට ආගමික වතාවත්වල නිරත වීමට තීරණය කර තිබේ. ලංකා කම්කරු කොංග්‍රසයේ රැලිය මෙවර නොපැවැත්වෙන අතර ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සහ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද කොළඹදී වෙනම රැලි සහ පෙළපාලි සංවිධානය කර ඇත.














