මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පැලවත්ත පිහිටි නිවස ඉදිරිපිට අද (2026.04.28) දින විරෝධතාවයේ නිරත වූ පිරිසට එල්ල වූ ප්‍රහාරය ඒකාබද්ධ විපක්ෂය (Joint Opposition) විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂය සඳහන් කරන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයක් බවයි.
විරෝධතාවයේ නිරත වූ පිරිසට පහර දී ඇති අතර, ඔවුන් වෙත මිනිස් මළමුත්‍ර, ගොම, නරක් වූ තක්කාලි සහ දැල්වූ රතිඤ්ඤා ප්‍රහාර එල්ල කර ඇති බවට එම නිවේදනයේ සඳහන් වේ. රජයේ දූෂණ සහ මහජන සම්පත් අවභාවිතය හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස චණ්ඩිකම් සහ බිය ගැන්වීම් සිදු කරන බවට විපක්ෂය චෝදනා එල්ල කරයි.
පොදු දේපළ විනාශ කිරීම සහ මිනීමැරීම් ඇතුළු එම පක්ෂයේ අතීත ප්‍රචණ්ඩකාරී ඉතිහාසය ද මෙහිදී සිහිපත් කර ඇති ඒකාබද්ධ විපක්ෂය, නීත්‍යානුකූල මහජන විරෝධතා නිහඬ කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව දැඩිව පෙනී සිටින බව අවධාරණය කළේය. ජාතික ධනය මංකොල්ලකෑමට එරෙහිව සහ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගීම කිසිසේත් නතර නොකරන බව ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.














