මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය කළමනාකරණය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජාතික අන්තර් විද්‍යායතන කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ලයනල් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, අධික පිරිවැයක් සහිත ඖෂධ කාර්යක්ෂමව භාවිත කිරීම සහ සීමිත සම්පත් උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි යොදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
ජනතාවගේ රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ‘ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන’ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම රෝහල් ආපනශාලා සඳහා සීනි එකතු නොකළ යෝගට් සහ ‘Wellness Walk’ ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහනට අමාත්‍යාංශයේ සහය ලබාදීම පිළිබඳවද අවධානය යොමු විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංකීර්ණ සහ දේශගුණ විපර්යාස සම්බන්ධ ආපදා කළමනාකරණය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ද මෙහිදී අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














