ග්‍රීසියේ ඇතැන්ස් නුවර සමාජ ආරක්ෂණ කාර්යාලයක් සහ අභියාචනාධිකරණ ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් අද (28) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන 89 හැවිරිදි පුද්ගලයෙකු සොයා ග්‍රීක පොලිසිය මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පොලිස් වාර්තාවලට අනුව සැකකරු මුලින්ම ඇතැන්ස් නුවර පිහිටි ජාතික සමාජ ආරක්ෂණ අරමුදල් (EFKA) කාර්යාලයට ඇතුළු වී එහි සිටි සේවකයෙකුට වෙඩි තබා තිබේ. පසුව එතැනින් පලාගිය ඔහු ඇතැන්ස් අභියාචනාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේදී තවත් පිරිසකට වෙඩි තබා ඇති බව වාර්තා වේ. වෙඩි තැබීම සඳහා භාවිතා කළ ගිනි අවිය අධිකරණ භූමියේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
වෙඩි තැබීමෙන් පසු සැකකරු විසින් ලියකියවිලි සහිත ලියුම් කවර කිහිපයක් පොළොවට දමා ඇති අතර, තමන් මෙම ක්‍රියාව සිදු කිරීමට හේතුව එහි සඳහන් බව ඔහු පවසා ඇති බව ග්‍රීක මාධ්‍ය වාර්තා කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු ගිලන් රථ මගින් රෝහල් ගත කරන අයුරු එරට රූපවාහිනී නාලිකා මගින් විකාශය කෙරුණි. ග්‍රීසිය තුළ ගිනි අවි භාවිතය දැඩි ලෙස පාලනය කර ඇති බැවින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීම එරට වැසියන් දැඩි කම්පනයට පත් කර ඇති කරුණකි.














