ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සැප්තැම්බර් 16 සිට 18 දක්වා පැවැත්වෙන 5 වැනි වාර්ෂික අග්නිදිග ආසියානු අපනයන පාලන සංසදයට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වී තිබේ. ඉන්දුනීසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව පවත්වන මෙම සංසදය උපායමාර්ගික වෙළඳ කළමනාකරණය පිළිබඳ කලාපීය සංවාදය ශක්තිමත් කිරීම අරමුණු කරයි.
අර්ධ සන්නායක නිෂ්පාදනය සහ සැපයුම් දාම ආරක්ෂාව, ද්විත්ව භාවිත භාණ්ඩ, කෘත්‍රිම බුද්ධිය සහ නැගී එන තාක්ෂණික අවදානම් මෙන්ම තීරණාත්මක ඛනිජ සැපයුම් දාමවල ආරක්ෂාවද සංසදයේ ප්‍රධාන අවධානයට ලක්වන කරුණු අතර වේ.
මේ අතර අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉන්දුනීසියානු වෙළඳ අමාත්‍ය Budi Santoso මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී දෙරටේ වෙළඳ සබඳතා සහ ශ්‍රී ලංකා ඉන්දුනීසියා මනාප වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කර ඇත.















