ශාරීරික, මනෝ-සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් යුතු දරු පරපුරක් බිහිකිරීමේ අරමුණින් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ‘මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය’ අද (14) සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, මෙවර මෙම ජාතික සතිය “විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන බවයි.
2016 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සමගාමීව, සතියේ සෑම දිනකම විවිධ පාර්ශ්ව ඉලක්ක කර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත:
ජූලි 14 වැනිදා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ. 15 වැනිදා මුල් ළමාවිය දරුවන් ඉලක්ක කර ගනිමින් ද, 16 වැනිදා මුල් ළමාවිය සම්බන්ධ ගුරුවරුන් සඳහා ද විශේෂ වැඩසටහන් පැවැත්වේ. 17 වැනිදා මුල් ළමාවිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලු කණ්ඩායම් දැනුවත් කිරීම සිදු කෙරෙන අතර 18 වැනිදා දෙමව්පියන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් වෙන් කර ඇත. 19 වැනිදා තරුණ කණ්ඩායම් සහ නව විවාහපත් යුවළ සඳහා දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර 20 වැනිදා මුල් ළමාවිය සම්බන්ධ ආදර්ශන ගම්මාන ව්‍යාපෘතියක් මගින් මෙම ජාතික සතියේ වැඩසටහන් මාලාව අවසන් කිරීමට නියමිතය.














