ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාමේදී ඉහළ පොලී අනුපාතවලට ණය ලබා ගැනීමට සිදුවන ගොවීන් සඳහා සහන සැලසීමේ අරමුණින් විශේෂ බැංකුවක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
මෙම බැංකුව හරහා ගොවීන්ට අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දීමට කටයුතු සූදානම් කෙරේ. ගොවීන් ගිනි පොලියට ණය ගැනීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන වියදම අධික වන අතර, මෙම නව ක්‍රමවේදය මගින් එම බර අවම කිරීම රජයේ අපේක්ෂාවයි. ඉදිරියේදී යාය ගොවි සමිති ක්‍රමවේදය ශක්තිමත් කරමින් ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයක් සඳහාම ‘කෘෂි උපකරණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ. මෙම මධ්‍යස්ථාන හරහා නවීන ට්‍රැක්ටර් සහ ගොයම් කපන යන්ත්‍ර, ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම නියර රහින සහ බඳින යන්ත්‍ර ඇතුළු දියුණු කෘෂිකාර්මික උපකරණ සහනදායී මිලට ගොවීන්ට ලබා දීමට නියමිතයි.
වසර පහක කාලයක් සඳහා තමන් බලය ලබාගෙන ඇත්තේ ගොවීන් මුහුණ දෙන සියලු ගැටලුවලට විසඳුම් ලබා දීමේ අරමුණින් බවත්, දැනට ගතවී ඇති වසර එකහමාරක කාලය තුළ ඒ සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















