ශ්‍රී ලංකාවේ ජාතික පරිසර පනතට වසර විසිහයක් ඉක්මවූ දීර්ඝ කාලයකට පසු නව සංශෝධන රැසක් හඳුන්වා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය දශක දෙකහමාරක කාලසීමාව තුළ රටේ බලයට පත් වූ විවිධ පාලනාධිකාරීන් සහ අමාත්‍යවරුන් මෙම නීතිමය රාමුව යාවත්කාලීන කිරීමට අපොහොසත් වූ පසුබිමක, මෙම සංශෝධන ක්‍රියාවලිය වත්මන් රජයේ පරිසර හිතකාමී ප්‍රතිපත්තිවල ප්‍රමුඛ පියවරක් ලෙස ඔහු පෙන්වා දුන්නේය.
මෙම නීතිමය වෙනස හුදෙක් රාජ්‍ය තීරණයක් පමණක් නොව, එය දිගුකාලීනව පරිසරවේදීන්, තරුණ ක්‍රියාකාරීන් සහ පොදු මහජනතාව විසින් පවත්වාගෙන ගිය සංවාද හා අරගලවල සාමූහික ජයග්‍රහණයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මීට පෙර බාහිරින් පරිසරය සුරැකීම වෙනුවෙන් හඬ නැගුවද ඒවා නීතිමය ප්‍රතිපාදන බවට පත්කිරීමේ අවස්ථාව ජනතාවට අහිමිව තිබූ බවත්, මහජන අභිලාෂයන් නීතිමය රාමුවකට ගෙන ඒමට ජනතා හිතවාදී පාලනයකට පමණක් හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයත් සමඟ වසර 26ක් පැරණි පරිසර පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය වීම, මෙරට පරිසර කළමනාකරණයෙහි විශාල පෙරළියක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මෙම නීතිමය සංශෝධන හරහා මෙරට පරිසර පද්ධතිවල ආරක්ෂාව වඩාත් තහවුරු වනු ඇති අතර, තිරසාර සංවර්ධන ඉලක්ක කරා යාමේදී මෙම නීතිමය ප්‍රතිසංස්කරණ තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය.
















