ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පද්ධති ශක්තිමත් කරමින්, දේශීය අධ්‍යාපන සුදුසුකම්වල ජාත්‍යන්තර පිළිගැනීම වැඩි දියුණු කිරීම සඳහා ජාතික ක්ෂුද්‍ර-අක්තපත්‍ර (Micro-Credentials) ප්‍රතිපත්තියක් සහ විෂය සම්භාර හුවමාරු රාමුවක් (Credit Transfer Framework) ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
ක්ෂුද්‍ර-අක්තපත්‍ර යනු ශ්‍රම වෙළෙඳපොළේ පවතින ඉල්ලුමට සරිලන පරිදි කුසලතා වැඩිදියුණු කිරීම සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගනු ලබන ඵලදායී යාන්ත්‍රණයකි. වේගවත් තාක්ෂණික වෙනස්කම් හමුවේ යාවජීව ඉගෙනීම සඳහා මෙය මහඟු අවස්ථාවක් සපයයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානයේ (Commonwealth of Learning) පූර්ණ මූල්‍ය දායකත්වය සහ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි මූලික වැඩමුළුවක් සහ කාර්ය නිර්ණේය අනුදේශ සම්පාදනය කිරීමේ කටයුතු ලබන මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිතය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය සහ මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර මේ සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යවරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.














