දිවයින වටා පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අනතුරට පත් සහ අතුරුදන් වූ ධීවරයන් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මුහුදු යාම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට පෙර මුහුදු ගිය යාත්‍රා කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, හලාවතින් ගිය ධීවරයන් දෙදෙනෙකු සමඟ එක් යාත්‍රාවක් (OFRPA 8108 CHW) අතුරුදන්ව පවතී. මීට අමතරව, මීගමුවෙන් ගිය යාත්‍රාවක් ගලක වැදී විනාශ වීමෙන් එහි සිටි කටුපිටිගේ ප්‍රසාද් මැක්මිලන් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ දේහය වෙරළට ගොඩගසා තිබේ. එම යාත්‍රාවේම අනෙක් ධීවරයා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අනතුරට පත් අනෙක් මීගමු යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකු වෙනත් යාත්‍රාවක ආධාරයෙන් නිරුපද්‍රිතව සිටී. ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ උපදෙස් මත, ගුවන් හමුදා විශේෂ නිරීක්ෂණ යානා සහ නාවික හමුදා යාත්‍රා යොදවා මෙම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් දැඩි ලෙස තීව්‍ර කර තිබේ.
















