නීතිවිරෝධී ලෙස බීඩි කොළ තොගයක් මුහුදේදී හුවමාරු කිරීමට උත්සාහ කළ ඉන්දීය ධීවර යාත්රා දෙකක් සහ මෙරට ඩිංගි යාත්රා දෙකක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
2026 ඔක්තෝබර් 21 වැනිදා රාත්රියේ පුත්තලම කල්පිටිය කන්දකුලිය ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.
බටහිර නාවික විධානයට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී මුහුදු සීමාවට ඇතුළු වී තිබූ ඉන්දීය ධීවර යාත්රා දෙකක් සහ මුහුදේ තිබූ මෙරට ඩිංගි යාත්රා දෙකක් පරීක්ෂා කර තිබේ. එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 2,400ක් අඩංගු උර 60ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතික ධීවරයන් හත්දෙනෙකු සහ මෙරට ධීවරයන් සිව්දෙනෙකු සිටින බව සඳහන් වේ.
සොයාගත් බීඩි කොළ තොගය, සැකකරුවන් සහ යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතය.
















