ජිනීවාහි පැවති ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) 68 වැනි මහා මණ්ඩල සැසියේදී, ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පද්ධතිය නවීන සහ කාර්යක්ෂම පද්ධතියක් ලෙස ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ ස්විට්සර්ලන්ත කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති සුමිත් දසනායක මහතා තහවුරු කළේය.
නවෝත්පාදනය, තාක්ෂණික හුවමාරුව සහ ආර්ථික සංවර්ධනය සඳහා බුද්ධිමය දේපළ පද්ධතිය තීරණාත්මක සාධකයක් බව පෙන්වා දුන් තානාපතිවරයා, විශේෂයෙන්ම ව්‍යවසායකයන්, කාන්තාවන්, තරුණ ප්‍රජාව සහ විද්වතුන් සවිබල ගැන්වීම තුළින් තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි බව අවධාරණය කළේය.
මෙම සැසියේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද කරුණු අනාවරණය විය:
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) සහ WIPO අතර ඇති කරගත් ගිවිසුම යටතේ 2026 මැයි මාසයේදී බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම.
ශ්‍රී ලංකාවේ ජාතික වෙළෙඳ ලකුණු එකතුව WIPO හි ගෝලීය සන්නාම දත්ත ගබඩාවට (Global Brand Database) ඇතුළත් කිරීම තුළින් ශ්‍රී ලංකික වෙළෙඳ ලකුණුවලට ජාත්‍යන්තර මට්ටමේ දෘශ්‍යතාවක් ලබා දීම.
රජයේ ඉදිරි ප්‍රමුඛතා ලෙස භූගෝලීය දර්ශක ප්‍රවර්ධනය, ප්‍රකාශන හිමිකම් රාමුව ශක්තිමත් කිරීම, විශ්වවිද්‍යාල සහ කර්මාන්ත අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිමත් කිරීම හඳුනාගෙන ඇත.
WIPO සංවිධානය ලබාදෙන තාක්ෂණික සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කළ තානාපතිවරයා, එම සංවිධානයේ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහේලගේ මහත්මිය ද සහභාගි වූවාය.
















