විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මැතිවරණ පොරොන්දුවක් වුවද, වත්මන් රජය මේ මොහොතේ ඒ සඳහා ප්‍රමුඛතාවක් ලබා දී නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනය හරහා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තහවුරු කළේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම පිළිබඳ රජය අවධානය යොමු කර තිබුණ ද එය මේ මොහොතේ ප්‍රමුඛතාවක් නොවන බවයි. එය මැතිවරණ පොරොන්දුවක් වුවද, වර්තමාන තත්ත්වය අනුව එය ප්‍රමුඛගත කිරීමට නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ ඔහු විසින් සභාපතීත්වය දරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ ක්‍රමවේදයන් වෙනස් කිරීම සඳහා වන අවසන් නිර්දේශ ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරන බවයි. මෙහිදී රජය තනිවම යෝජනා ඉදිරිපත් නොකරන බවත්, සෙසු පක්ෂ සහ සංවිධානවල අදහස් විමසා සාමූහික නිර්දේශයන් සකස් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. 1978 හඳුන්වා දුන් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට 1994 සිට බලයට පත් වූ විවිධ රජයන් පොරොන්දු වුවද, එය තවමත් යථාර්ථයක් වී නොමැත.
















