ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ගුවන් සේවා, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා නව ගිවිසුම් රැසකට අත්සන් තබා තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ බෙලරුස් විදේශ කටයුතු ඇමැති මැක්සිම් රයිෂෙන්කොව් මහතා අතර මින්ස්ක් නුවරදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවන්ට එළඹ ඇත.
මෙහිදී එක් නව ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබූ බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. දශකයකටත් වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් බෙලරුස් රාජ්‍යය වෙත සිදු වූ මෙම ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය, දෙරටේ සබඳතාවල නව යුගයක ආරම්භය බව ඇමැතිවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඇති කරගත් නව එකඟතා හරහා දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉහළ නැංවීමටත් මෙමඟින් මඟ පෑදේ. බෙලරුස් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගිවිසුම් හරහා දෙරටේ ආර්ථික හා සමාජීය සබඳතා තවදුරටත් පුළුල් වන බවයි.
















