බ්‍රිතාන්‍යයේ රෝයල් මේල් (Royal Mail) තැපැල් සේවාව ඉදිරි වසර පහ ඇතුළත සිය සේවාවන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම වෙනුවෙන් පවුම් මිලියන 500ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 675.25ක) ආයෝජනයක් සිදු කරන බව එහි මවු සමාගම වන International Distribution Services අද (21) නිවේදනය කළේය. පසුගිය වසරේ ජූලි මාසයේදී Ofcom නියාමන ආයතනය විසින් අනුමත කරන ලද තැපැල් සේවා ප්‍රතිසංස්කරණ හරහා ඉතිරි කරගන්නා ලද ප්‍රතිපාදන මෙම ආයෝජනය සඳහා යොදා ගැනීමට නියමිතය.
නව සැලසුමට අනුව, පළමු පන්තියේ (First Class) ලිපි බෙදා හැරීම සඳුදා සිට සෙනසුරාදා දක්වා නොවෙනස්ව පවතින නමුත්, දෙවන පන්තියේ (Second Class) සහ අඩු ප්‍රමුඛතාවක් සහිත ලිපි බෙදා හැරීම සතියේ දින දෙකකට වරක් (Every other weekday) සිදු කෙරේ. කෙසේ වෙතත්, පාර්සල් බෙදා හැරීමේ කටයුතු සතිය පුරාම සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත. පාරිභෝගිකයින්ගේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වඩාත් කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණය මුසු වූ සේවාවක් සැපයීම මෙම දැවැන්ත ආයෝජනයේ මූලික අරමුණයි.














