ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් සියයට 64ක්ම තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම හෙවත් ‘කෑෂ් ඔන් ඩිලිවරි’ (Cash on Delivery) ක්‍රමයට බව නවතම වාර්තා පෙන්වා දෙයි. ‘ඒෂියා පැසිපික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාර්කටින්’ (APIDM) සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයන අංශය ඒකාබද්ධව එළිදැක්වූ ‘Digital Outlook 2026’ වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
වාර්තාවට අනුව, ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්නන්ගෙන් සියයට 25ක් පමණක් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගෙවීමට කැමැත්ත පළ කරන අතර, සියයට 6ක් පමණක් බැංකු යෙදුම් හෝ වෙනත් අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම (Online Banking / Mobile Wallets) භාවිතා කිරීමට යොමු වේ. පසුගිය 2025 වසරේදී ‘කෑෂ් ඔන් ඩිලිවරි’ ක්‍රමයට පැවති කැමැත්ත සියයට 52ක් වූ අතර, වසරක් ඇතුළත් එය සියයට 12කින් ඉහළ ගොස් තිබේ. ඊට ප්‍රතිවිරුද්ධව, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීම පසුගිය වසරේ පැවති සියයට 35ක සිට සියයට 25 දක්වා සියයට 10කින් පහළ බැස ඇත. ඔන්ලයින් බැංකු හරහා සිදුකළ ගෙවීම්ද සියයට 8ක සිට සියයට 6ක් දක්වා අඩුවී ඇත.
ජනතාව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කළද, ඩිජිටල් ක්‍රමවේද භාවිත කරමින් මුදල් ගෙවීමට මැලි වීමක් සහ තවදුරටත් මුදල් අතින් ගෙවීමට (Cash) නැඹුරු වීමක් මෙයින් පැහැදිලි වේ. අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අතර පවතින විශ්වාසයේ ගැටලු මීට ප්‍රධාන හේතුවක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














