පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර (Season Tickets) මාර්ගගත (Online) ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවයි. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා මෙම පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී.
එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම පසුපස අසුන් ඇතුළු සියලුම මගීන්ට ද ආරක්ෂිත බඳ පටි (Seat belts) පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මීට අමතරව පොදු ප්‍රවාහන රියදුරන්ට දින 10 ක විශේෂ පුහුණුවක් ලබාදීම, ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදුකිරීම, යතුරුපැදිකරුවන්ට SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් අනිවාර්ය කිරීම සහ යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් (Motorcycle lanes) හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත.
















