රජයේ සහතික මිල යටතේ වී කිලෝවක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 50කට ආසන්න පාඩුවක් දරාගනිමින් බවට ප්‍රදේශ රැසක ගොවීන් දැඩි චෝදනා නංවයි. ඔවුන් පෙන්වා දෙන්නේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක මිලක් හෝ තමන්ට ලැබිය යුතු බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ස්වර්ණපාලීගම ගොවි සංවිධාන බල ප්‍රදේශයේ ගොවීන් මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු සිදුකරමින් සිටින මුත්, වෙළෙඳපොළේ වී මිල පහළ යාම හේතුවෙන් අස්වනු සාධාරණ මිලකට විකුණාගත නොහැකිව අසරණව සිටිති. රජයේ වී ගබඩා විවෘත කර ඇති බව පැවසුවද ඒවා මෙතෙක් විවෘත කර නොමැති බවට ගොවීහු චෝදනා කරති.
මේ අතර ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩාව විවෘත නොකිරීම හේතුවෙන් හුරුළුවැව ගොවීන්ද දැඩි අසීරුතාවට පත්ව සිටී. ප්‍රදේශයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත් රජය මගින් වී මිලදී ගැනීමේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව යකල්ල ප්‍රදේශයේ ගොවීහු පවසති. ගබඩා ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් රජය වී මිලදී ගැනීම මඟහරිමින් ගොවීන් මුළා කරන බවටද ඔවුහු චෝදනා කරති.














