1996 අංක 28 දරන ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනතක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආබාධිත පුද්ගලයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වී තිබේ.
1996 පනත වෙනුවට නව පනතක් ගෙන ඒම වසර 30ක් පුරා සාකච්ඡාවට ලක්ව ඇති බවත්, 2016 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අත්සන් තැබුවද දේශීය නීතිමය රාමුව තවමත් ඊට අනුකූල කර නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත. ජාතික සභාවේ උප කමිටුවක ප්‍රතිචාර ඇතුළත් ආදර්ශ පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යවා ඇති අතර, මේ වන විට අදාළ අමාත්‍යාංශය ජාතික සභාවෙන් නිරීක්ෂණ ලබා ගනිමින් සිටින බව අමාත්‍යාංශ නිලධාරීහු සඳහන් කළහ.
මෙම සාකච්ඡාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ව නිරීක්ෂණ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ සහ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූල ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කර තිබේ. “අප ගැන අපෙන් තොරව කිසිවක් නැත” යන ප්‍රතිපත්තිය මත පදනම්ව සෘජු ප්‍රජා සහභාගීත්වයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව ජාතික සභාවේ නියෝජිතයෝ අවධාරණය කළහ.
සමාන වැඩ කොන්දේසි සහ වේතන තහවුරු කිරීම, සුදුසු රැකියා අවස්ථා සහ සාධාරණ සේවා ස්ථාන පහසුකම් සැලසීම මෙන්ම රජයේ රැකියා කෝටා නීති ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රධාන නීතිමය ප්‍රතිපාදන ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ වර්තමාන සමාජ-ආර්ථික යථාර්ථයන්ට ගැළපෙන නීතිමය රාමුවක් ඉක්මනින් සකස් කිරීමේ වැදගත්කම සහභාගී වූ ආයතන විසින් පෙන්වා දෙන ලදී.














