පාර්ලිමේන්තුව ජුනි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම දිනවලට අදාළ කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව ජුනි 09 අඟහරුවාදා මුද්දර ගාස්තු, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන, නිෂ්පාදන බදු සහ එකතු කළ අගය මත බදු පනත් යටතේ වන නියෝග මෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය.
ජුනි 10 බදාදා දින විදුලි සංදේශ බදු (සංශෝධන) සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදයත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතයත් විවාදයට ගැනීමට නියමිත අතර එදින පෙරවරුවේ අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත. ජුනි 11 බ්‍රහස්පතින්දා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට ගැනෙන අතර, පසුව විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.
ජුනි 12 සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත අතර, පස්වරුවේ මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතය. මීට අමතරව, මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂ වැඩසටහනක් ද ජුනි 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
















