පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 16 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සතියේ කටයුතු තීරණය කළ බවයි.
ඒ අනුව ඔක්තෝබර් 20 වැනිදා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයක් පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 21 වැනිදා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතයක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 22 වැනිදා විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවැනිවර කියවීමේ විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 23 වැනිදා ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ කටයුතු කිරීමට නියමිත බව වාර්තාවේ සඳහන් වේ.
සෑම රැස්වීම් දිනයකම පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත.














