රටේ ප්‍රතිපත්ති සම්පාදනය සහ අනාගත නීති සැකසීමේදී ජනගහන දත්ත නිවැරදිව භාවිත කිරීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කුෂානි අනුෂා රොහානධීර මහත්මිය සහ UNFPA ශ්‍රී ලංකා අන්තර්කාලීන නියෝජිත ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
ජනගහනය වයස්ගත වීම, පවුල් ව්‍යුහයන් වෙනස් වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ හා තරුණ පිරිස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් අනාගත සංවර්ධන අභියෝගවලට මුහුණ දීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණයි. UNFPA ආසියා සහ ශාන්තිකර කලාපීය අන්තර්කාලීන අධ්‍යක්ෂ ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් (සාෂා) බොඩිරෝසා මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර මෙම ගිවිසුම අත්සන් කෙරුණු අතර, ඔහු මෙරට රැඳී සිටි කාලය තුළ අගමැතිනි හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්ම මහත්මීන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මීට අමතරව ඔහු ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතුකරයේ ජනතාව මුණගැසී සහන සේවා කටයුතු ද නිරීක්ෂණය කළේය.
















