ශ්‍රෝණි මේඛලාවෙන් එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව ඇත. එක් දරුවෙකුට පමණක් තිබූ වකුගඩු දෙකෙන් එකක් ඉවත් කර අනෙක් දරුවාට බද්ධ කරමින් මෙම දරුවන් වෙන් කිරීම ලොව ප්‍රථම වතාවට සිදුකර ඇති සැත්කම ලෙස වෛද්‍යවරු පෙන්වා දෙති.මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් 2021 වසරේදී බිහිවූ මෙම දරුවන්, වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු ඉකුත් 10 වැනිදා මෙම සංකීර්ණ සැත්කමට ලක්කර තිබේ. පැය 14ක කාලයක් පුරා පැවති මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දායක වී ඇත.සැත්කම අභියෝගාත්මක වූයේ දරුවන් දෙදෙනාගේ පාද හරස් අතට පිහිටා තිබීම සහ ස්නායූ හා රුධිර සංසරණ පද්ධතියට හානියක් නොවන පරිදි වෙන් කිරීමේ අවශ්‍යතාවය නිසාය. සැත්කමෙන් පසු දරුවන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි.
















