ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණු අතර වේ. එමෙන්ම සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට පවතින නීති වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද ඊට ඇතුළත් වේ.
සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබාදිය යුතු වයස් සීමාව සම්බන්ධ පරස්පරතා ඉවත් කිරීමේ අවශ්යතාව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. වීදි සුනඛයන්ට ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන් එම ක්රියාව හේතුවෙන් සුනඛයන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා අවශ්ය නීතිමය පැහැදිලි කිරීම් පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
සුනඛ වන්ධ්යාකරණය පශු වෛද්ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මඟින් සිදුකිරීමේ වැදගත්කම සහ හෝමෝන එන්නත් ඇතුළු විකල්ප ක්රම සම්බන්ධයෙන් සත්ව සුබසාධනය තහවුරු වන පරිදි විධිවිධාන සකස් කිරීමේ අවශ්යතාව ද සාකච්ඡා කර තිබේ.
මීට අමතරව, සුනඛයන් ලියාපදිංචි නොකිරීම සම්බන්ධ දඩ මුදල් සංශෝධනය කිරීම, වාණිජ අභිජනන මධ්යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම සහ සත්ව හිංසනය සම්බන්ධ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්රමවේද අනුගමනය කිරීම සහ පශු වෛද්ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කර තිබේ.
















