පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වී තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානියේ ශාඛාව (CPA UK) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම ‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටු සංචාරය’ (Sri Lanka Committee Visit to Westminster), ජුනි මස 16 දින සිට 18 දින දක්වා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්.එම්. මරික්කාර්, (වෛද්‍ය) ජගත් ගුණවර්ධන, නීතිඥ තුෂාරි ජයසිංහ, කන්දසාමි ප්‍රභූ, ධනුෂ්ක රංගනාත්, රුවන් විජේවීර යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර, වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මූලික අරමුණ කරගත් මෙම වැඩසටහන තුළින් සංසන්දනාත්මක පාර්ලිමේන්තු ක්‍රමවේද, කාරක සභා ව්‍යුහයන්, මූල්‍ය අධීක්ෂණය, මහජන වගවීම සහ පාර්ලිමේන්තු නවීකරණය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අත්දැකීම් හුවමාරු කර ගන්නා ලදී.
එහිදී මන්ත්‍රීවරුන්ට එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය (House of Commons) සහ සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි (House of Lords) කටයුතු නිරීක්ෂණය කිරීමටත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අන්තර්ක්‍රියාකාරී සැසිවලට සහභාගී වීමටත් අවස්ථාව ලැබුණි. විශේෂයෙන්ම, තේරීම් කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු සඳහා කාන්තා නියෝජනය ඉහළ නැංවීම වැනි මාතෘකා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
මෙම සංචාරයේදී නියෝජිත පිරිස ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ’ (WFD) නියෝජිතයින්, ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම් ස්ටීවන් ට්විග් මහතා හමුවී අනාගත සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතාගේ සහ දූත මණ්ඩලයේ මැදිහත්වීමෙන් සාර්ථකව නිමාවට පත් වූ මෙම සංචාරය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා වැදගත් මංපෙතක් විවර කළේය.
















