ශ්රී ලංකාව ආයෝජන, කර්මාන්ත සංවර්ධනය සහ ජාත්යන්තර හවුල්කාරිත්වයන් ඔස්සේ තිරසර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති NDTV World Summit 2026 ජාත්යන්තර සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ශ්රී ලංකාව වෙළෙඳාම, පර්යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාවද ඔහු අවධාරණය කළේය.
කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් නව කර්මාන්ත කලාප 18ක් ස්ථාපිත කිරීමේ සැලසුමක් ක්රියාත්මක වන බව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, ශ්රී ලාංකික ව්යාපාර සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීමට, තාක්ෂණය හුවමාරු කරගැනීමට සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට විදේශීය සමාගම්වලට ඇති අවස්ථා පෙන්වා දී තිබේ.
එමෙන්ම, ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර කාර්මික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර ඇත. නිෂ්පාදන කර්මාන්ත, කෘෂි අගය එකතු කිරීම, සැපයුම් දාම, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය යන ක්ෂේත්රවලින් දෙරටටම ප්රතිලාභ ලබාගත හැකි බව ඔහු සඳහන් කළේය.
ආයෝජන ක්රියාවලීන් සරල කිරීම, රාජ්ය සේවා ඩිජිටල්කරණය සහ පැහැදිලි නියාමන ක්රමවේද හඳුන්වාදීම හරහා ආයෝජකයන්ට හිතකර ව්යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවද නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් රටේ ඉදිරි වර්ධනයේ හවුල්කරුවන් වන ලෙස ඔහු ජාත්යන්තර ව්යාපාරික ප්රජාවට ආරාධනා කර තිබේ.
















