ඉදිරි වසර දෙක තුළ මෙරට කුඩා වැව් ඇතුළු සමස්ත ග්‍රාමීය වාරි පද්ධතිය නවීකරණය කර රට කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “වාරි මහිමය අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආණමඩුව ආසනයේ නවගත්තේගම මල්මඩුගම වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කෙරෙන මල්මඩුගම වැව සංවර්ධනය කිරීමෙන් කුඹුරු අක්කර 70ක් පමණ අස්වැද්දීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.
වැව්, ඇළ අමුණු ඇතුළු ග්‍රාමීය වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මඟින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, භෝග විවිධාංගීකරණය කිරීම සහ ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණු අතර වන බව අමාත්‍යවරයා පැවසීය. එම ජාතික වැඩපිළිවෙළට පක්ෂ භේදයෙන් තොරව එක්වන ලෙසද ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.














