අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීම සහ පාසල් සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම හෝ තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. දරුවන් ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට සකස් වෙමින් පවතින අතර, ඒ සඳහා බහුආයතනික දායකත්වයක් ලබාගනී. මීට අමතරව, 2026 සැප්තැම්බර් සිට පාසල් සිසුන් සඳහා ‘Online Safety, Cyber Security සහ Digital Well-being’ මාර්ගෝපදේශ සංග්‍රහයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත.
2027 අධ්‍යයන වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පදිංචිය තහවුරු කිරීමේ ගැටලුවලට විසඳුම් ලෙස වසර ගණනාවක පදිංචිය සහ ස්ථිර පදිංචිය සනාථ කරන බිල්පත් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේම, පාසල්වල පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් 50%ක් දක්වා පමණක් තාවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට ද නව නියෝග මගින් අවස්ථාව සලසා ඇත.
ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ අනාථ වූ දරුවන් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට හෝ මිලදී ගැනීමට රුපියල් මිලියන 2ක ආධාරයක් ලබා දීම සහ දෙමාපියන් අහිමි දරුවන් සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම සිදු කෙරේ. තවද, රත්මලාන කේන්ද්‍ර කරගනිමින් “සෙනෙහස” නමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ කරාපිටිය හා අනුරාධපුර රෝහල්වල වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සිදු කෙරේ.
ත්‍රිකුණාමලයේ අත්හැර දමා තිබූ වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට සහ වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු සතු ඉඩම් ගොවීන් වෙත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 1985ට පෙර එම ඉඩම්වල පදිංචිව සිටි ජනතාවට ඉඩම් හිමිකම ලබා දීම හෝ විකල්ප ඉඩම් ලබා දීමේ වැඩසටහනක් හරහා රටේ වී වගාව සහ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
















