ඉදිරියේදී උද්ගත විය හැකි එල් නිනෝ (El Nino) කාලගුණික බලපෑම හමුවේ රටේ ජල සම්පත් අතිශය විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී. නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව පැවසුවේ ජල කළමනාකරණයට සම්බන්ධ ප්‍රධාන ආයතන කිහිපයක නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙම තත්ත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන එකතුවී ජල කළමනාකරණය සඳහා ඒකාබද්ධ ක්‍රියාපිළිවෙළක් සකස් කර ඇත. ජූලි – අගෝස්තු වියළි කාලගුණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යා හැකි අතර, සැප්තැම්බර් මාසයේ වැසි ලැබීමේ අඩුවක් පැවතිය හැකි බවට පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වැසි වැඩි විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අදාළ සියලුම ආයතනවල සූදානම පරීක්ෂා කිරීම සඳහා ලබන 20 වැනිදා විශේෂ සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වියළි කාලගුණය සාර්ථකව ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වයන් දැනුවත් කර සූදානම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














