නීතිය රකින නිල ඇඳුමට මුවා වී මහජනතාව මුළා කරමින් රහසේ සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු අනාවරණය වීමත් සමඟ මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම දැඩි කැළඹීමකට පත්ව තිබේ. විදෙස් රටවල සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සෘජු සබඳතා පවත්වමින් මත්කුඩු ජාවාරමේ නිරත වූ බවට එල්ල වූ බරපතළ චෝදනා මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනෙකු මේ වන විට නීතියේ දැඩි ග්‍රහණයට හසුව සිටිති.
මෙම අඳුරු කුමන්ත්‍රණයේ සුලමුල හෙළිවන්නේ ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් තුනක තොගයක් එම වැටලීමට සම්බන්ධ වූ කොස්තාපල්වරයෙකු විසින්ම හොර රහසේ ජාවාරම් කළ බවට ලැබුණු තොරතුරක් සමඟිනි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි මහතා අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම සලකා බැලූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ලින්ටන් ලෙනාඩ් සිල්වා, කසුන් සුභාෂණ, රංජිත් රණසිංහ, මනෝජ් පියදර්ශන, තාරක මධුරංග, කෝලිත ලක්මාල් සහ ටෙරන්ස් සෙඩ්‍රික් යන නිලධාරීන් හත්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීය.
රටක් වසංගතයක් සේ වෙලාගන්නා මත්කුඩු උවදුර මැඩලීමට දිවුරුම් දුන් නිලධාරීන්ම ජාවාරම්කරුවන්ගේ පියකරු මිතුරන් වී සිටීම සමස්ත සමාජයේම විශ්වාසය බිඳවැට්ටවීමට සමත්ව ඇති කරුණකි. රජයේ දේපළක් බඳු නීති විරෝධී මත්ද්‍රව්‍ය සාක්ෂි ලෙස ඉදිරිපත් නොකර තමන්ගේම මඩිස්සල පුරවා ගැනීමට තැත් කළ මෙම නිලධාරීන් පිළිබඳ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර මෙය නීතියේ දෑස් වසා කටයුතු කරන සැමට ප්‍රබල අනතුරු ඇඟවීමකි. යුක්තියේ පසිඳලීම තවදුරටත් ප්‍රමාද නොවනු ඇති අතර වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමුද යන පැනය අද මුළු මහත් රටක් හමුවේ ඉතිරිව තිබේ.














