වර්තමාන සමාජය තුළ දරුවන් රැකියා හෝ වෙනත් කටයුතු සඳහා නිවසින් බැහැරව යාම හේතුවෙන් හුදෙකලා වන වයෝවෘද්ධ දෙමාපියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අතිශය වැදගත් සහ සංවේදී කාර්යයක් බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. මෙවැනි හුදෙකලා නිවාස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ පහසු ඉලක්ක බවට පත්වන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.
නිවස වටා රාත්‍රී කාලයට හොඳින් ආලෝකය වැටෙන ලෙස සකසා තිබීම. ආගන්තුකයන් ලෙස නාන්නාඳුනන පුද්ගලයන් නිවස තුළට යම් කාර්යන් සඳහා කැඳවා නොගැනීම. අසල්වැසියන් සමඟ සුහදතාවය වර්ධනය කරගැනීම තුළින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සලසා ගැනීම. හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරී මහතා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තිබීම. දෙමාපියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සරල ජංගම දුරකථනයක් ලබා දී, ඒ සඳහා දරුවන්ගේ සහ පොලිසියේ අංක ඇතුළත් කර තැබීම. 119, සුව සැරිය (1990), අසල්වැසියන්ගේ සහ පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංක විශාල අකුරින් ලියා පහසුවෙන් දර්ශනය වන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම. වැඩිහිටියන් බලාගැනීම සඳහා බාහිර පුද්ගලයන් හෝ ගෘහ සේවකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කර, අදාළ පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීම.
හුදෙකලා වැඩිහිටියන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම සහ යම් අපරාධයක් සිදුවීමට ඇති අවස්ථා කල්වේලා ඇතිව හඳුනා ගැනීමට බුද්ධිමත් වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.
















