හලාවත දුම්රිය ස්ථානයේදී සිදු වූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව කොළඹ කොටුව සිට මාදම්පේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09:30 ට හලාවත බලා ධාවනය ආරම්භ කරන ලද දුම්රියක්, දහවල් 12:30 ට පමණ හලාවත දුම්රිය ස්ථානය වෙත ඇතුළු කිරීමට යාමේදී මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මගී අපහසුතා මඟහරවා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන්ගේ ගමන්වාර මාදම්පේ දක්වා පමණක් සීමා කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කර දුම්රිය ධාවනය කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු සේවක පිරිසක් මේ වන විටත් එම ස්ථානයේ විශේෂ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
















