මෙරට තුළ සිදුවූ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ අපරාධ සිදු කර විදේශගතව සැඟවී සිටින සැකකරුවන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙරට අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇති සහ ඉන්ටර්පෝල් (INTERPOL) හරහා රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම මෙම වැඩසටහනේ අරමුණයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ විදේශයන්හි සැඟවී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන පිරිස් කෙරෙහි පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. 2024, 2025 සහ 2026 යන වසර තුන තුළ පමණක් රතු නිවේදන හරහා සැකකරුවන් 32 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, විවිධ රටවල් සමඟ සහයෝගයෙන් තවත් සැකකරුවන් 70 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන තිබේ.
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, තවත් සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් පවතින බවත්ය. පොලිසිය වෙත ලැබෙන එවැනි තොරතුරු ඉතා බැරෑරුම් ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
