ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය පවසා සිටින්නේ, රට තුළ මතුව ඇති මෙම බරපතළ සෞඛ්‍ය ගැටලුව පාලනය කිරීම සඳහා තමන් සක්‍රීයව මැදිහත් වන බවයි.
රටේ ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරමින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ප්‍රාදේශීය මට්ටමින් මදුරු මර්දන කටයුතු ශක්තිමත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම නේවාසික ප්‍රදේශ, වෙළඳසැල් සහ පොදු ස්ථාන ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සහ එම ස්ථාන පිරිසිදු කර පවත්වාගෙන යාම සඳහා මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
පොලිසිය විසින් තවදුරටත් අවධාරණය කරන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස මදුරු මර්දන ක්‍රියාවලියට අනුකූල නොවන පාර්ශවයන් වෙත නීත්‍යානුකූලව පියවර ගැනීමට පසුබට නොවන බවයි. මෙම මාරාන්තික රෝගයෙන් මිදීම සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවද පොලිසිය සිය නිල මුහුණු පොතේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරයි.
















