ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් පිළිබඳව මහජනතාවට අදහස්, පැමිණිලි, පැසසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා QR කේතයක් මත පදනම් වූ නව ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී තිබේ. “ශ්‍රී ලංකා පොලිස් ප්‍රජා ප්‍රතිචාර ද්වාරය” (Sri Lanka Police Community Feedback Portal) ලෙස නම් කර ඇති මෙම නව පද්ධතිය හරහා පුරවැසියන්ට ඉතා සරල ඩිජිටල් ක්‍රියාවලියක් ඔස්සේ පොලිස් සේවාවන් පිළිබඳව තම අදහස් බෙදාහදා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම නව ක්‍රමවේදයේ විශේෂාංග කිහිපයක් පවතී. පොලිස් ස්ථානවල පිවිසුම් දොරටු සහ විමර්ශන ඒකක ආශ්‍රිතව මෙම QR කේත පුවරු ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. මහජනතාවට මෙම කේතය ස්කෑන් කිරීම මගින් ක්ෂණිකව ද්වාරයට පිවිසිය හැකිය. මෙම ද්වාරය හරහා අදහස් දැක්වීම්, පැමිණිලි, පැසසුම් හෝ යෝජනා ලෙස කාණ්ඩ කිහිපයකින් තම ප්‍රතිචාර යොමු කළ හැකිය. අවශ්‍ය නම් තම පුද්ගලික තොරතුරු ලබා දෙමින් සහ පොලිස් ස්ථානයට පැමිණි හේතුව සඳහන් කරමින් අදාළ ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට පරිශීලකයන්ට හැකියාව ඇත. පොලිස් ස්ථානයට නොගොස් ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ (www.police.lk) ඇති ‘E-Services’ කොටස හරහා ද මෙම ද්වාරයට පිවිසිය හැකිය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ, දත්ත මත පදනම් වූ විශ්ලේෂණවලින් සහාය ලබන ජනතාවාදී ප්‍රවේශයක් හරහා පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ, තම පොලිස් ස්ථානවල මෙම QR කේත පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාව මේ සඳහා දිරිමත් කරන ලෙසයි.
















