ශබ්දය වෙනස් කර ඇති, මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අද (13) මේ බව පැවසීය.
යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ ඒ මහතා, එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බව අවධාරණය කළේය.
මීට අමතරව, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














