ජනශක්ති සමූහ ව්‍යාපාරය (Janashakthi PLC – JXG) විසින් Continental Insurance Lanka Limited (CILL) හි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා එහි එකම කොටස් හිමිකරු වන Melstacorp PLC (MELS) සමඟ කොටස් මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ක්‍රියාත්මක වනු ඇත.
මේ යටතේ JXG විසින් Continental Insurance Lanka Limited හි පාලක කොටස් හිමිකාරිත්වයෙන් 81%ක ප්‍රමාණයක් මුලින් අත්පත් කර ගැනීමට නියමිත අතර, ඉතිරි කොටස් ප්‍රමාණය පළමු වසරේදී 9%ක් සහ ඊළඟ වසරේදී 10%ක් වශයෙන් අදියරෙන් අදියර මිලදී ගැනීමට නියමිතය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 5.14 (රු. 5,144,636,012/-) කි.
මෙම අත්පත් කර ගැනීම හරහා සමූහයේ සාමාන්‍ය රක්ෂණ (General Insurance) සේවාවන් පුළුල් වන අතර, මූලික මහජන කොටස් නිකුතුවේ (IPO) දී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමෝපායික සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය වැදගත් පියවරක් වේ. නවීන තාක්ෂණය සහ නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් මට්ටමේ ඒකාබද්ධ මූල්‍ය සේවාවන් එකතුවක් ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි.
2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ CILL සමාගම රුපියල් බිලියන 10.73ක මුළු වාරික වටිනාකමක් (GWP), රුපියල් බිලියන 6.64ක ආයෝජන වටිනාකමක් සහ රුපියල් බිලියන 14.20ක සමස්ත වත්කම් වටිනාකමක් වාර්තා කර ඇත. දිවයින පුරා විසිරුණු සේවා ස්ථාන 61කින් සහ 700කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම සමාගම සමඟ එක්වීමෙන් ජනශක්ති සමූහයේ මූල්‍ය සේවා අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත.














