පොලිස් නිලධාරීන් සඳහා යෝජිත විදුලි යතුරුපැදි වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක එල්ල කර ඇති චෝදනා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පොලිස්පතිවරයාගේ හිතවත්කම මත යතුරුපැදි ආනයනය කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවට එම වීඩියෝවෙන් චෝදනා කර ඇති අතර, එම චෝදනා තහවුරු කරන ස්වාධීන සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලිස් කොස්තාපල් ශ්‍රේණියේ සිට පොලිස් පරීක්ෂක ශ්‍රේණිය දක්වා නිලධාරීන්ට විදුලි යතුරුපැදි මිලදී ගැනීමට පහසුකම් සැලසීමේ වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. යතුරුපැදි සඳහා තීරුබදු සහනයක් සහ මූල්‍ය පහසුකම් ලබාදීමටද සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීමට පත් කළ කමිටුවක් ජාතික තරගකාරී ක්‍රමවේදයක් යටතේ යෝජනා කැඳවා සුදුසුකම් සපුරන ආයතන හරහා නිලධාරීන්ට සිය කැමැත්ත මත යතුරුපැදි මිලදී ගැනීමට අවස්ථාව සැලසීම නිර්දේශ කර ඇති බවයි. අදාළ යෝජනා කැඳවීම ඉදිරි සතිවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.














