2025 ඔක්තෝබර් 30 සිට 2026 අගෝස්තු 12 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5,200කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,259යි ග්‍රෑම් 129ක්, අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් කිලෝග්‍රෑම් 2,653යි ග්‍රෑම් 245ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 293යි ග්‍රෑම් 755ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය වර්‌ග තුනේ සමස්ත ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,206කට අධිකය.
අදාළ මත්ද්‍රව්‍ය අතරින් අධිකරණ ක්‍රියාමාර්‌ග අවසන් වූ නඩුවලට සම්බන්ධ තොග, පුත්තලම වනාතවිල්ලුවේ “ලැක්ටෝ වත්ත” පරිශ්‍රයේ පිහිටි අධි උෂ්ණත්ව දහන යන්ත්‍රය භාවිත කර විනාශ කර ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාළ අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පවතින නියමිත ක්‍රියාපටිපාටිය යටතේ මෙම කටයුතු සිදුකර තිබේ.














