2026 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර “හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමු වෙයි” යන ශීර්ෂයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වෙබ් අඩවියක් පළ කළ පුවතක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා තිබේ. එම ඉල්ලීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අදාළ පුවතට පාදක වූ සිද්ධිය හේතුවෙන් මේ වනවිට ක්‍රියාත්මක උසස් පෙළ විභාග ක්‍රියාවලියට කිසිදු ආකාරයක අහිතකර බලපෑමක් සිදුව නොමැති බවයි. එහෙත් පුවත ඉදිරිපත් කර ඇති ආකාරය හේතුවෙන් විභාග අපේක්ෂකයන් සහ මහජනතාව අතර විභාග ක්‍රියාවලිය පිළිබඳ අවිශ්වාසයක් හෝ කැළඹීමක් ඇතිවිය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ජාතික වැදගත්කමකින් යුත් උසස් පෙළ විභාග ක්‍රියාවලියට බාධාවක් ඇතිවිය හැකි ආකාරයෙන් මෙම පුවත පළ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය වී තිබේ.














