ශ්රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමය විසින් සිව්වන වරටත් සංවිධානය කළ 2026 පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ අවසන් තරග සහ ජයග්රාහකයන්ට කුසලාන හා සහතිකපත් ප්රදානය කිරීම ඔක්තෝබර් 20 වැනිදා සවස කොළඹ විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි අධ්යයන අංශයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ කොරියානු තානාපතිනි කිම් යුන් ජං මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා ද සහභාගී විය. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් තරග වැදුණු පොලිස් ටයිකොන්ඩෝ ක්රීඩක ක්රීඩිකාවන් අතරින් දක්ෂතා දැක්වූවන්ට මෙහිදී සම්මාන හා කුසලාන පිරිනැමිණි.
ආධුනික තරගාවලියේ කිලෝග්රෑම් 58–63 බර පන්තියේ දක්ෂතම ක්රීඩකයා ලෙස දකුණු පළාත නියෝජනය කළ හබරාදූව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 107120 වයි.එම්.ඒ. යාපා මහතා තේරී පත් වූ අතර, කිලෝග්රෑම් 57ට අඩු බර පන්තියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස කොටුව පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 13123 පී.ඒ.එන්.එම්. චන්ද්රකාන්ති මහත්මිය සම්මාන දිනා ගත්තාය. ජ්යෙෂ්ඨ තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස පොලිස් කොස්තාපල් 105855 එම්.එන්. ප්රනාන්දු මහතා තේරී පත් වූ අතර, හොඳම විනිසුරුවරයා ලෙස ඩබ්. සුගත් මහතා තෝරා ගන්නා ලදී.
ආධුනික තරගාවලියේ සමස්ත ශූරතාව බස්නාහිර පළාතට හිමි වූ අතර, දෙවැනි ස්ථානය ශ්රී ලංකා පොලිස් විද්යාල කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය දකුණු පළාතටත් හිමි විය.
මෙහිදී පොලිස්පතිවරයා විසින් කොරියානු තානාපතිනියට සහ කොරියානු ටයිකොන්ඩෝ මූලස්ථානයේ ශ්රී ලංකා නියෝජිත සභාපති ග්රෑන්ඩ් මාස්ටර් කී සූ ලී මහතාට සමරු තිළිණ පිරිනැමූ අතර, 160 වැනි පොලිස් දිනය වෙනුවෙන් නිර්මාණය කළ Coffee Table Book ග්රන්ථය ද ප්රදානය කරන ලදී. තානාපතිනිය විසින් ද පොලිස්පතිවරයාට සහ පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති, වයඹ පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සිසිර කුමාර මහතාට සමරු තිළිණ පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කොරියානු තානාපති කාර්යාලයේ රාජ්ය තාන්ත්රික නිලධාරීන් සහ පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














