ශ්‍රී ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය (Headline Inflation) ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස, එනම් ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර සිටී.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 මාර්තු මාසයේදී 210.9ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, අප්‍රේල් මාසය වන විට 216.3 දක්වා වැඩි වී තිබේ. මෙම මාසික මිල වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මඟින් 0.46%ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මඟින් 2.08%ක දායකත්වයක් ලැබී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. එසේම, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන “යටිදැරි උද්ධමනය” (Core Inflation) ද මාර්තු මාසයේ පැවති 198.6 සිට අප්‍රේල් මාසයේදී 202.2 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, මෙරට පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 116.3%ක් ලෙස සටහන් වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය තුළ 39.22%ක බර තැබීමක් සහිත ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1%ක් ලෙස සටහන් වූ අතර, එහි මාසික වෙනස 1.8%කි. එහෙත්, දර්ශකයේ වැඩිම බර තැබීමක් (60.78%) හිමි ප්‍රවාහන වියදම් ඇතුළු ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාම මෙලෙස සමස්ත උද්ධමනය වැඩි වීමට සෘජුවම බලපා ඇත. ඒ අනුව ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.8%ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එහි මාසික වෙනස 2.6%ක් ලෙස වාර්තා වේ. ඩොලරයේ අගය ඉහළ යාම සහ පිරිවැය ඉහළ යාම හමුවේ ඉදිරි මාසවලදී ද පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවදුරටත් උච්චාවචනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














