හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැළඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට එරෙහිව ඉදිරියේදී දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පවසයි.
මේ ආකාරයෙන් ගමන් කිරීම නිසා පදිකයින් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මින් ඉදිරියට එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
2026 වසරේ ජනවාරි 01 දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයින් 1,389 දෙනකු මියගොස් ඇති බවත්, මෙය පසුගිය වසරට සාපේක්ෂව අනතුරු සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම අනතුරුවලින් වැඩි වශයෙන්ම විපතට පත්වන්නේ පදිකයින් සහ පාපැදිකරුවන් බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ගෙන ඇති තවත් තීරණ කිහිපයක් තිබේ. අධික වේගයෙන් ධාවනය වන වාහන හඳුනා ගැනීමට කිලෝමීටර තුනක දුරක් ආවරණය කළ හැකි නවීන වේගමාපක දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගල තරාතිරම නොබලන අතර, මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම් ලබා දීමට හා රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු යොදා ඇත. තවද පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ‘ටේක් කෙයාර්’ (Take Care) නමින් විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.
අනාරක්ෂිත රිය ධාවනය සහ පදිකයින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දිනකට පුද්ගලයින් 10 දෙනෙකුට වඩා මිය යන බැවින්, රියැදුරන්ගේ හා පදිකයින්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















