පසුගිය කාලසීමාව තුළ සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් මුළා කර ලිංගික අතවරයට ලක් කිරීම, දේපළ සොරකම් කිරීම සහ විවාහ පොරොන්දු ලබා දී මුදල් හා දේපළ ලබා ගෙන මනුෂ්‍ය ඝාතන දක්වා වූ අපරාධ සිදුවීම් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. විවිධ ආහාර සහ බීම වර්ගවලට මත්ද්‍රව්‍ය එක් කර කාන්තාවන් සිහිසුන් කර ඔවුන්ව අතවරයට ලක් කිරීමේ සහ දේපළ සොරකම් කිරීමේ සිදුවීම්ද මේ අතර වේ.
මෙම තත්ත්වය පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, මහජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු සහ බුද්ධි නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිසිය අවධාරණය කරයි. සිය ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීම සඳහා නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිසිය විසින් නිකුත් කර ඇති ආරක්ෂක උපදෙස්:
– අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයින් විශ්වාස කර මුදල්, ස්වර්ණාභරණ හෝ වටිනා දේපළ ලබා නොදීම.
– සංවේදී හෝ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ කිසිවිටෙකත් නාඳුනන පුද්ගලයින් වෙත ලබා නොදීම.
– ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් තොරතුරු සහ පෞද්ගලික ලිපිනයන් නාඳුනන පුද්ගලයින්ට ලබා නොදීම.
– සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් සිදුකරන හමුවීම් සඳහා වන ආරාධනා ප්‍රතික්ෂේප කිරීම.
– යම් අතවරයකට හෝ වංචාවකට ලක් වී ඇති බව හැඟේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කිරීම.
– කඩිනම් සහාය සඳහා 118, 119, 107 හෝ 109 යන දුරකථන අංක භාවිත කිරීම.
















